නව කවි සහ ඒ අසල සිදු වන දේවල්

එය සාමාන්‍යයෙන් කවි ලිවීම සඳහා ම සකස් වුණු තැනක් නොවුණත් දැන් ගොඩක් අය ෆේස්බුක් තුළ කවි ලියා පළ කරනවා. ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් අඩවිවලට කවි ලියන අයත් ඉන්නවා. සමහරු මේ එක් මාධ්‍යයක් විශේෂයෙන් ඉලක්ක කරගෙන ම කවි ලියන බවත් පේන්න තියෙනවා. මම දැක්කා සමහර කවියෝ ඉන්ස්ටග්‍රෑම් අඩවියේ රූපවල හැඩහුරුකමට සරිලන පරිදි දෘශ්‍යමය වසයෙන් සිය කවි සංවිධානය කරගන්නා අන්දම. මේ ආකාරයේ නව මාධ්‍ය අවකාශ නිසා කවියේ අලුත් හැඩතල වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. කවි හැටියට හඳුන්වන දෙයෙහි ම පරිණාමයකටත් ඉඩ නැතුවා නෙමෙයි. මේක කවදත් අලුත් මාධ්‍යයක් පැමිණෙන විට සිදු වෙන ක්‍රියාවලියක්. මුද්‍රිත පුවත්පත තුළ කවියට තිබුණ සහ තිබෙන ඉඩකඩත් බොහෝ විට කවිවල හැඩතල නිර්ණය කළා. තවමත් කරනවා, මම හිතන්නේ.

මේක ඊනියා නරක දෙයක් හැටියට දකින උදවියත් නැතුවා නෙමෙයි. ඔවුන්ගේ විරෝධයේ පදනම වෙන්නේ ඊට පෙර හොඳ යැ යි සම්මත, සවිබල, කවිබල පරාක්‍රමයෙන් යුතු කාව්‍ය ආකෘති වෙනුවට අමුතු අමුතු හැඩ ගන්නා කවිකම් මේ අලුත් මාධ්‍ය මඟින් දිරිගැන්වීම යි. ඒ නිසා කවිය වළ පල්ලට යනවා ය කියා හඬ නැඟීම, ඒ හැටියට ගත් විට අන්තර්ගතයෙන් තොර බව මගේ හැඟීම යි. ප්‍රශ්නය පටන්ගත යුත්තේ කොතනින් ද? මා හිතන හැටියට නව කවි ප්‍රවණතා පිළිබඳ විවේචනාත්මක පරීක්ෂාවක් හෝ සමාලෝචනයක් පටන්ගත යුත්තේ කවිවල අන්තර්ගතයෙන් මිස ඒවායේ ආකෘතිය හෝ ඒවා පළ වන්නේ කොහේදැයි හෙවීමෙන් නෙමේ. මේ නව කවි, සිය වස්තු විෂය ප්‍රතිනිර්මාණය හා ප්‍රතිඅර්ථකථනය කරන්න සමත් වෙන්නේ මොන තරම් නිර්මාණාත්මක ආකාරයකට ද කියන ප්‍රශ්නය ආරම්භක ප්‍රශ්නයක් හැටියට මතු කරන්න පුළුවන්. තවත් කුඩා කොටස්වලට කැඩුවොත් මේ නව කවිවල වස්තු විෂයයන් මොනවා ද? ඒවා තුළ දැකිය හැකි නව ප්‍රවණතා මොනවා ද? මේ ප්‍රකාශන උත්පාතය තුළ බිහි වෙන කවි කෙතරම් සාර්ථක අන්දමින් සිය වස්තු විෂය ප්‍රතිනිර්මාණය කොට, ප්‍රතිඅර්ථකථනය කරන්න සමත් වෙනවා ද?

පොදුවේ සාහිත්‍යය සම්බන්ධයෙන් දකින්න තියෙන දුෂ්කරතා හා ගැටලු දෙස බැලීම තව මොහොතකට කල් දමා සමාජ මාධ්‍ය තුළ මා දකින එක ලක්ෂණයක් ඉස්මතු කරන්න මම කැමති යි. මේ අනන්ත අනුචලනය (infinite scroll) දිගේ ගමන් කරන, අඛණ්ඩ කාලරේඛාවක් දිගේ ඇදී යන සෙයක් දිස් වන සමාජ මාධ්‍ය ධාරාව අපේ අවධාන ඉතා කුඩා කැබැලිවලට කඩාදමා ඇති බව නිරීක්ෂණය කළ හැකි යි. අපි කිසියම් ලිපියක, සටහනක, රූපයක, ප්‍රතිචාරයක එල්බගන්නේ ඉතා සුළු අසුරු සැණක් ය යි කිව හැකි මොහොතකට පමණ යි. මේ ගැන කෙරුණු අධ්‍යයන ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. නමුත් මේ සුළු මොහොත, අදාළ ලිපිය, සටහන, රූපය, කවිය, ප්‍රතිචාරය දුටු බවට කියා පෑමට (claim) අපට අයිතිය ලබා දෙනවා. දුටු වන ම කැමැත්ත පළ කරන (like) මාර්ග ද තිබෙන නිසා මෙය වඩාත් වේගවත්. මේ භුක්ති විඳීමේ, පරිභෝජනයේ හෝ "රස විඳීමේ" වේගවත් හා ක්ෂණභංගුර භාවය නිසා කියැවීමට හා නැරඹීමට අමුතු අරුතක් එකතු වී තියෙනවා ද? එහෙමත් නැත්නම් කියවීම හා නැරඹීම වෙනත් තත්වයකට "කඩා වැටී" හෝ "බාල්දු වී" තියෙනවා ද? මේ ප්‍රශ්නවලට හදා නිම කළ උත්තර මා සතුව නැහැ. ඒත් මේවා අප කල්පනා කර බැලිය යුතු දේවල් බව යෝජනා කරන්න මම කැමති යි.

එම යෝජනාවේ ම දිගුවක් හැටියට මෙහෙම කිව්වොත් :

මේ අතිශය කෙටි, ක්ෂුද්‍ර අවධාන කාලය නිසා කවිය ලියන, රූපය නිමවන අය තම කෘතිය පිළිබඳ කරන තක්සේරුව හෝ පෙරදැකීම වෙනස් වී තිබෙනවා විය හැකි යි. වඩා පරිසමාප්ත කරන ලද, වඩා සෙමෙන්, කල් ගතකරමින් භුක්ති විඳිය හැකි, රස විඳිය හැකි දේ වෙනුවට අර කෙටි කාලය තුළ අවධානය පැහැරගත හැකි දේ නිපදවීමට ඔවුන්ට දිරිමත් කිරීමක් තිබෙනවා විය හැකි යි. කවි ගීත බවටත් සංගීත වීඩියෝ බවටත් පත් වීමත් නතර වී නැහැ. මේක නව කවි අවකාශ තුළ පෙර තරම් ප්‍රමුඛත්වයට පත් දෙයක් ද යන්න හොයාබලන්න මට ඉඩක් ලැබුණේ නැති නිසා ඒ ගැන දිගට කතා කරන්න විදිහක් තව ම නැහැ. කෙසේ වෙතත් කල් ගත වන, තලු මරා හෙමිහිට රස විඳින දෙයක සිට සැණෙකින් සමාජ මාධ්‍ය කාල ප්‍රවාහයක පෙනී නොපෙනී වියැකී යන දෙයක් බවට කවිය (නොඑසේ නම් කවිය නමින් හැඳින්වෙන කලාපයෙන් සැලකිය යුතු කොටසක්) පත් ව තිබෙන බව අපට එකඟ විය හැකි යි.

රූපමය කලා කෘති සම්බන්ධයෙනුත් මේක සාධාරණ නිගමනයක්. වීඩියෝ හා ඡායාරූප කෘතිත් මේ විදිහට වේගයෙන් බිහි වෙනවා. ඒවා දැකබලාගැනීමේ ක්‍රියාවලිය ඊටත් වඩා වේගවත්.

මඳ කලකට පෙර තීර්ථ කලාගාරයේ දී ගොරොද් උස්තිනොව් නමින් හැඳින්වෙන ක්ෂුද්‍ර කලාකරු කණ්ඩායමකගේ ඉදිරිපත් කිරීමක් දැකගන්න ලැබුණා. ඔවුන්ගේ කෘති, බොහෝ විට ස්ථාපන හෝ මූර්ති ලෙස හැඳින්විය හැකි දේවල්. ඒවා අතිශයින් ක්ෂුද්‍ර ප්‍රමාණයෙන් යුක්ත වන නිසා ඒවා නැරඹීමට හෝ ඒවා සමඟ ගනුදෙනු කිරීමට නම් විශේෂ කාලයක් හා අවකාශයක් ඒ වෙනුවෙන් "ආයෝජනය" කළ යුතු යි. වේගවත් සමාජ මාධ්‍ය කාල ප්‍රවාහයක පෙනී නොපෙනී යන රූපයක් දැක, ලයික් එකක් දමා කැමැත්ත පළ කර අදාළ රූපය "දැක තිබෙන" බව කියාපෑම තරම් ලෙහෙසියෙන් මෙම කෘති දැක ඇති බව කියන්න පුළුවන්කමක් නැහැ. මා හිතන්නේ මේ ප්‍රවේශය අර වේගවත් ප්‍රවාහය විසින් මතු කරන සෞන්දර්යවිද්‍යාත්මක හා සංස්කෘතික ප්‍රශ්න පිළිබඳ දැනුවත් ප්‍රතික්‍රියාවක්. මේ ලක්ෂණය දිගු කාල අභිවහන කලා (long durational performance art) කෘති සතුවත් තියෙන බව මගේ හැඟීම යි. ඒවා නරඹන්නාගෙන් (නැතහොත් සහභාගියාගෙන්), වඩා වෙනස් කාලයක් හා අවකාශීය නියුක්තියක් (engagement) ඉල්ලා සිටිනවා. එවැනි කෘතියක් දැක ඇති බව කීම සඳහා, අර කලින් කී අධිවේග සමාජ මාධ්‍ය ප්‍රවාහයෙන් දිරිමත් කෙරෙන වේගයෙන් කෘතිය සමඟ නිමග්න වීම සෑහෙන්නේ නෑ.

නව මාධ්‍ය කවියෙහි නිරත වන කවියන්ට හා රසිකයින්ට සලකා බැලීමට යමක් ඉහත කී ප්‍රවේශය තුළ ඇතැයි මට හිතෙනවා.

ඒත්, සමාවෙන්න, මේක ශබ්ද නඟා සිතීමක් විතර යි. හදා නිම කළ අදහසක් නෙමෙයි.