තට්ට ගායිකාව පොත දොරට වැඩුම

ප්‍රිය මිතුරු මිතුරියනි,

වසර පහලොවක කාලයක් තිස්සේ වරින් වර නලුනිලි කන්ඩායම් කිහිපයක් සමග පිරිපහදු වී, හැදී වැඩී පදම් වුනු තට්ට ගායිකාව නාට්‍ය පිටපත සැප්තැම්බර් 2 වැනි සෙනසුරාදා හවස 3 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මන්ඩල ශ්‍රවනාගාරයේ දී පොතක් හැටියට දොරට වඩිනවා. තට්ට ගායිකාව යනු අභූතරූපී නාට්‍ය සම්ප්‍රදාය තුල ප්‍රමුඛතම කෘතියක් ලෙස සැලකුම් ලබන යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Chauve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි සිංහල අනුවර්තනයක්. තට්ට ගායිකාව පමනක් නොව පොදුවේ අභූතරූපී නාට්‍ය රසවිඳින, හදාරන හෝ නිශ්පාදනය කරන අවකාශයකට ප්‍රයෝජනවත් වන තවත් ලිපි කිහිපයකුත් මේ පොතට ඇතුලත්. La Cantatrice Chauve වේදිකාගත වූ පසු ඉයොනෙස්කෝ සිය කෘතිය පිලිබඳ විවිධ පැතිවලින් බලමින්, ආවර්ජනය කරමින් අවස්ථා තුනක දී ලියූ ලිපි තුනක් අපි සිංහලයට පරිවර්තනය කලා. ඒ වගේ ම අභූතරූපී නාට්‍ය ගැන සඳහන් වන හැම විටක ම නොවැරදී ම සිහියට එන ශාස්ත්‍රඥයා සහ විචාරකයා වන මාටින් එස්ලින් ලියූ The Theatre of the Absurd නමැති සුප්‍රකට ලිපිය ද සිංහල බසින් මෙහි උපග්‍රන්ථයට ඇතුලත් කර තිබෙනවා. අපට අවශ්‍ය වුනේ ඉයොනෙස්කෝ සහ එස්ලිනුත් මෙය කියවන රසිකයින්ගේ පිලිසඳරට එකතු කරන්න යි. ඊට අමතර ව මේ නාට්‍යය සිංහල බසට පරිවර්තනය කොට සිංහල භාශාවෙන් නාට්‍ය රසවිඳින රසික පර්ශදයක් වෙත ගෙන ඒමේ ක්‍රියාවලියෙහි විවිධ පැති පිලිබඳ අවලෝකනයක යෙදෙන කංචුකා ධර්මසිරි ලියූ ලිපියක් ද මෙයට ඇතුලත්.

පොත දොරට වඩිද්දී මහාචාර්ය අශෝක ද සොයිසා, ප්‍රවීන ඡායාරූපවේදී හේමන්ත අරුනසිරි, මහාචාර්ය සිවමෝහන් සුමදි සහ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මූලික අදහස් දැක්වීම් කිහිපයක් සිදු කරනවා. ඔවුන් මේ නාට්‍යය විවිධ අවස්ථාවල (ඇතැම් විට වාර කිහිපයක්!) විවේචනශීලී ව නැරඹූ, මේ නාට්‍යය කියැවූ සහෘදයෝ. මේ දොරට වැඩුමේ උලෙල තට්ට ගායිකාව පිලිබඳ කතාබහ කරන අතර, නාට්‍ය කලාව හා පරිවර්තන සාහිත්‍යය පිලිබඳ පොදු ගැටලු හා ඒවායේ සමාජ-දේශපාලන මානයන් සාකච්ඡාවට ගන්නා සභාවක් හැටියට සංවිධානය කිරීම අපේ අරමුන යි. ඒ සඳහා නාට්‍ය ලැදි, සාහිත්‍ය ලැදි, හිතමිතුරු ඔබේ සහභාගීත්වය අපි ඉතසිතින් අපේක්ශා කරනවා. දැන් ම මේ දිනය හා වේලාව වෙන් කර තබා ගන්න. මේ ආරංචිය මෙවැනි විශයයන් ගැන උනන්දුවක් දක්වන ඔබේ සගයන්ටත් දන්වන්න, ඔවුන් කැටුව එන්න. එදිනට හමු වෙමු!

https://www.facebook.com/events/1165593820208439/